loader

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සදහා ගතයුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුයි.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියට කටයුතු කරන බවත්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට ජාත්‍යන්තර ප්‍රසාදය පවා ලැබෙන බැවින් එහි ගෞරවය ඒ සදහා දායකත්වය දක්වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින්ට හිමිවිය යුතු බව යි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සිය වෘත්තීය ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, එම ගැටලු පිළිබදව සාධනීය ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් පවතින ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඒ තුළින් සෞඛ්‍ය සේවාව නගා සිටුවීමට ක්‍රමවත්ව කටයුතු කළ හැකි බවත් සඳහන් කළා.

අමාත්‍යවරයා අලුතින් ගැටලු නිර්මාණය වීමට අවකාශය නොතබා, දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන්නැ’යි ඉල්ලීමක් කළ අතර ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් සමඟ සාමුහිකව සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA), විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), සමස්ත ලංකා හෙද නිලධාරීන්‌ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) යන වෘත්තීය සමිතිවල නියෝජිතයන් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටි බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *