
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද(27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය එරට වේලාවෙන් අද සවස 4.00ට ක්‍රියාත්මක වනු ඇති.
අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය “සුබ ආරංචියක්” ලෙස පිළිගන්නා බවත්, එය ගාසා තීරයේ සාමය උදාවනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ජෝ බයිඩ්න්ගේ නිවේදනයේ සඳහන්.
ලෙබනන් – ඊශ්‍රායල දේශසීමා හරහා පැවති ගැටුම් ස්ථිර ලෙස නැවැත්වීම අරමුණු කරගනිමින් මෙම සටන් විරාමයට එළඹීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි එම නිවේදනය හරහා ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ.
කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාම එකඟතාවල දී හිස්බුල්ලා සංවිධානය ගිවිසුමේ ඇතැම් වගන්ති කඩ කළ හොත් ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවයි.