
ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව සිදුකරගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ( ශ්‍රී ලංකා වේලාවෙන් අද ( 26) දහවල් 12 ට පමණ ) මාධ්‍ය හමුව අමතමිනුයි.
ඒ අනුව ඊට අදාළ විවාදය ලබන මස 05 සහ 06 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
මෙම වසරේ ඉදිරි කාලය සඳහා වන වියදම් පියවා ගැනීමට රුපියල් මිලියන 219,373 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව සඳහන්.
මේ අනුව ඉහළ දමන ලද විශ්‍රාමික දීමනා ගෙවීම සදහා රුපියල් මිලියන 1400 ක ප්‍රතිපාදන සහ පාසල් පෝෂණ වැඩසටහන සඳහා ශිෂ්‍යයෙකු වෙනුවෙන් දැරිය යුතු මුදල රුපියල් 85 සිට රුපියල් 110 දක්වා වැඩි කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1800 ක් ප්‍රතිපාදනද මේ හරහා සපයා ගැනීමට නියමිත බවයි පවසන්නේ.
එසේම ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එහි දෙවන වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය ලබන වසරේ පෙබරවාරි 27 සිට මාර්තු මස 21 වන දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන් කර තිබෙනවා.